මයුරාවතී කෝරළයේ දකුණු උඩුකහ හත්පත්තුවේ මනරම් පුණ්‍ය භූමියක පිහිටා ඇති මයුරාවතී විදු මාතාව සශ්‍රීකත්වයෙන් ඔප් නංවන්නට අපට මෙහෙම සිතුවිල්ලක් පහළ වුණා. ඒ සිතුවිල්ල පෙරදැරි කර ගනිමින් අපි මීට මාස කිහිපයකට මත්තෙන් පුංචි කුඹුරක් අස්වැද්දුවා. විදුහලේ 8 A,B පන්තිවල සිසුන් මේ කටයුත්තට යොමු කරන්නට පන්තිභාර ගුරුභවතුන් දෙපළ (S.N.A.ප්‍රියංගනී ගුරුතුමිය සහ Y.A.S.P.සුගන්දිකා ගුරුතුමිය) කටයුතු කළා. මේ කටයුත්ත සඵල කර ගන්නට දැනට අප පාසලේ කෘෂිකර්ම විෂය උගන්වන B.M.J.ශිවන්තිකා ගුරුතුමියත් නොමද සහයක් දැක්වූවා. අප විදුහලට ස්ථිර වශයෙන්ම කෘෂිකර්ම ගුරුවරයෙක් නොමැති මොහොතක මෙවැනි කර්තව්‍යයට සිසුන් යොමු කිරීමට ලැබීම සම්බන්ධයෙන් අපට තිබෙන්නේ සැගවුණු සියුම් සතුටක් සමඟ පුංචි ආඩම්බර හැඟීමක්.
අස්වනු නෙලන දා අපේ දරුවෝ වගේම මීට සහයෝගය දැක්වූ දෙමව්පියො කිහිපදෙනෙක් හිටියා. 8A පන්තියේ සෙන්මුතු පුතාගේ අම්මයි, තාත්තයි වගේම 8B පන්තියේ ඩිලුම් පුතාගේ තාත්තත් අමතක කරන්න බැහැ. ඒ වගේම අපේ ගරු විදුහල්පතිතුමන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයත් මේ කාර්යයට මග පෙන්වමින් දරුවන් මෙහෙයවූවා.
අස්වැන්න නෙළන දා කුඹුරට ඇඹුල අරගෙන එන්නත් අපේ දරුවෝ අමතක කළේ නෑ. ගොයම් කවි කියමින් රන් අස්වනු නෙලූ පසුව අපි හිතුවා අපේ පාසලේ සියලු දෙනාටම සරිලන කිරිබතක් සකස් කරන්න. සෙන්මුතු පුතාගේ අම්මා මේ වී ටික සහල් කරගෙන ආවා. ඒ වගේම ශිවන්තිකා ගුරුතුමිය දරුවන් සමඟ එකතු වෙලා වගා කරපු මුං ඇටවල අස්වැන්නත් මේ මොහොතෙම අපට ලැබුණා. අපි මුං ඇටත් අපේ කිරිබතට එකතු කළා. ඒ කිරිබත පිළියෙල වන මොහොත රූපරාමුවලින් දැකගන්න පුළුවන්. අපි සකස් කරපු ඒ කිරිබත මුළු පාසලටම බෙදල දුන්නා.
බුද්ධ පූජාව තැන්පත් කිරීම සඳහා අපි වෙනම කිරි මුට්ටියක් පිළියෙල කළා. කිරි මුට්ටිය උතුරා යන මොහොත අපි කාගේත් සිත්වලට සියුම් සතුටක් එක්කළා. මේ අත්දැකීම හැම පාසල් දරුවෙක්ම අත්විඳින දෙයක් නොවන නිසා දරුවන්ට මේක සුවිශේෂි අවස්ථාවක් වුණා.
මේ කටයුත්තේ අවසන් ඵලය නිමා වුණේ තවත් සතුටු හිතෙන දෙයකින්. කුඹුරෙන් ලබා ගත්ත වී කරල් ටිකකින් ඉතාමත් අලංකාර කරල් පැදුරක් සකස් කළා. සෙන්මුතු පුතාගේ කිරිඅම්මා (ලීලාවතී ලියනගේ මිය) තමයි මේ අගනා නිමැවුම සකස් කළේ. ඇය ගැන හඳුන්වා දෙනවානම් ඇය ප්‍රදේශයේ කීර්තිමත් ලේඛිකාවක් කියලයි අපට දැනගන්නට ලැබුණේ. එතුමියගේ මේ කුසලතාවයන් අගය කරන අතරම අපි ඇයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
දරුවන් මේ කර්තව්‍යයෙන් යමක් ලබා ගත්තා නම් එයයි අපගේ ලොකුම සතුට. මෙම අගනා අවස්ථාවට සම්බන්ධ වූ සියලුම දරුවන්ටත්, ගුරුවරුන්ට හා දෙමව්පිය ඔබ සැමටත් බොහොම ස්තූතිවන්ත වන අතරම ඔබට ජයනේ ජය ප්‍රාර්ථනා කරනවා.
සටහන
8B ශ්‍රේණියේ පන්තිභාර ගුරුතුමිය,
S.N.A.ප්‍රියන්ගනී මිය






